අප්‍රේල් 24 වන දින සුබ අස්න – ශු. ලූක් 24:13-35

13 එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. 14 එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ. 15 තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක. 16 ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය. 17 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ. 18 ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, ”මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය. 19 ”කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක. 20 නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ. 21 එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත. 22 තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්, 23 උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ. 24 අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ. 25 එවිට උන් වහන්සේ ඔවුන් අමතා, ”බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි, 26 ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා, 27 මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.
28 ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක. 29 එවිට ඔව්හු: ”දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක. 30 තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක. 31 එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. 32 එකල ඔව්හු, ”උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ. 33 ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, 34 ”ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ. 35 එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙ‍හි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.