29 ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ. 30 සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. 31 උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.
32 සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. 33 නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. 34 උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.
35 හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක. 36 සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්, 37 සම්මුඛ වී, ”හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ. 38 උන් වහන්සේ උත්තර දෙමින්, ”අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක. 39 උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.