ජනවාරි 17 වන දින සුබ අස්න – ශු. මාක් 2 : 1 – 12

1 දින ගණනකට පසු ජේසුස් වහන්සේ යළිත් කපර්ණවුමට පිවිසුණු සේක. උන් වහන්සේ ගෙදර සිටින බව පතළ විය. 2 එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහ පිරිසක් එහි රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටි සේක. 3 එකල සතර දෙනෙක් අංසබාග රෝගියෙකු උසුලාගෙන උන් වහන්සේ වෙත ආහ. 4 සමූහය නිසා උන් වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔව්හු උන් වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර, පියස්ස කඩා, අංසබාග රෝගියා ඔත් යහන පහතට බැස්වූ හ. 5 ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ” යයි අංසබාග රෝගියාට වදාළ සේක. 6 එහෙත් එතැන හුන් විනයධරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින්, 7 ”මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ. 8 ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙණෙහි ම දැනී, ඔවුන්ට කතා කොට, ”ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහු ද? 9 වඩා පහසු කුමක් ද? අංසබාග රෝගියාට ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඔබේ යහන රැගෙන යන්නැ’යි කීම ද? 10 එහෙත්, මෙලොව දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි”යි කියා උන් වහන්සේ අංසබාග රෝගියාට කතා කොට, 11 ”නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. 12 ඔහු නැඟිට එකෙණෙහි ම යහන රැගෙන පිරිස බලා සිටිය දී ම නික්ම ගියේ ය. සියල්ලෝ ම විස්මිත ව, ”මෙවැන්නක් අප කවදාවත් දැක නැතැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.