22 ජෙරුසලමෙන් ආ විනයධරයෝ, ”මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, ”දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ. 23 එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: ”සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද? 24 යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. 25 යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය. 26 සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. 27 එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි.
28 ”සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය. 29 එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.” 30 මෙසේ වදාළේ, ”උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි.