ජුනි 18 වන දින සුබ අස්න – ශු. මතෙව් 9: 36 – 10: 8

36 ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක. 37 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ”අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. 38 එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක. 1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක. 2 ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය; 3 පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය; 4 අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය. 5 ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: ”විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න; 6 ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. 7 එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න. 8 රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.