පෙබරවාරි 13 වන දින සුබ අස්න – ශු. ලූක් 6: 17, 20 – 26

17 උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ.  20 එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක:
”දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය;
මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.
21 දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය;
මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත.
දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය;
මන්ද, ඔබ සිනාසෙනු ඇත.
22 මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය. 23 ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ.
24 අහෝ, ධනවත් ඔබට වන විපතක මහත!
ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය.
25 අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත!
ඔබට, සාගිනි වනු ඇත.
අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත!
ඔබ හඬා වැලපෙනු ඇත.
26 අහෝ, මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත!
ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කෙළේ එය ම ය.”