2 සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක. 3 මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි. 4 එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ. 5 එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ”ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය. 6 ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය. 7 තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි. 8 හදිසියෙන් අවට බැලූ විට, ඔව්හු තමන් සමඟ ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නුදුටුවෝ ය.
9 ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්ථාන වන තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. 10 එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, ”මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ.