1 දිනක් උන් වහන්සේ ගෙන්නෙසරෙත් විල අසල සිටිය දී, සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන් වහන්සේ වටා තෙරපි තෙරපී සිටි කල, 2 විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන් වහන්සේ දුටු සේක. ධීවරයෝ ඒවායින් බැස විත් දැල් සෝදමින් සිටියහ. 3 උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක. 4 එය නිම වූ කල උන් වහන්සේ සීමොන්ට කතා කොට, ”මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙළන්නැ”යි වදාළ සේක. 5 සීමොන් පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය. 6 එසේ කළ විට ඔව්හු මසුන් මහා රාශියක් අල්ලාගත්හ. ඔවුන්ගේ දැල් ද ඉරෙන්නට වන. 7 ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ. 8 සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, ”ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය. 9 මන්ද, ඔහු ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ හ. 10 සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද එසේ ම විස්මිත වූ හ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින්, ”බිය නොවන්න, මෙතැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැ”යි වදාළ සේක. 11 ඔව්හු තමන්ගේ ඔරු වෙරළට ඇද ඒ සියල්ල හැරදමා උන් වහන්සේ අනුව ගියහ.