33 ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: ”මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය. 34 අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය. 35 එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ. 36 යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ. 37 අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. 38 එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට, 39 ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ. 40 එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?” 41 ඔව්හු කතා කොට, ”ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ. 42 ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක:
” ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත.
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි.
අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’
යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද? 43 එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය. 44 මේ ගල පිට වැටෙන්නා සුණු විසුණු වී යන්නේ ය. එහෙත්, එය යමෙකු පිට වැටුණොත්, එය ඔහු ධූලිමෙන් පොඩි කර දමන්නේ ය.”
45 නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන, 46 උන් වහන්සේ අල්ලාගන්න තැත් කළහ. එහෙත්, ‘උන් වහන්සේ දිවැසිවරයෙකැ’යි ජනතාව සැලකූ හෙයින් ඔව්හු ඔවුන්ට බිය වූ හ.