විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ, ඔවුන් එකතු වී උන් වහන්සේ සමඟ විවාද කරනු අසා, උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, ”සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. 29 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය: ‘ඉශ්රායෙල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය. 30 නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’ 31 දෙවැන්න මේ ය: ‘නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’ මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැ”යි වදාළ සේක. 32 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”ගුරුදේවයෙනි, එය සැබෑ ය. ‘උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය’යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. 33 මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන් ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය”යි කීවේ ය. 34 ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැ යි ජේසුස් වහන්සේ දැක ”ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරු ව සිටින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නො වී ය.