සැප්තැම්බර් 16 වන දින සුබ අස්න – ශු. ලූක් 7:1-10

1 ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනඟට කියා නිම කළ පසු කපර්ණවුමට ඇතුළු වූ සේක.
2 එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය. 3 ඔහු ජේසුස් වහන්සේ ගැන අසා, සිය දාසයා සුව කරන පිණිස වඩින මෙ‍න් උන් වහන්සේට අයැදිනු වස් ජුදෙව් ප්‍රජා මූලිකයන් උන් වහන්සේ වෙත යැවී ය. 4 ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, 5 ”ඔබගෙන් ඒ වරය ලබන්න ඔහු සුදුස්සෙකි, ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි; තවද අපේ ධර්මශාලාව තනා දුන්නේත් ඔහු ය” කියා, උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලා සිටියහ. 6 එවිට ජේසුස් වහන්සේ ඔවුන් සමඟ වැඩිය සේක. උන් වහන්සේ ගෙදරට නුදුරු ව සිටිය දී ශතාධිපතියා මෙ‍සේ කියා උන් වහන්සේ වෙතට මිත්‍රයන් යැවී ය, ”ස්වාමීනි, වෙහෙස නොවන්න, ඔබ මාගේ පියස්ස යටට වැඩමවාගැනීමට මම නොවටිමි. 7 මා ඔබ වෙතට නොපැමිණියේ ඒ නිසා ය. එහෙත් වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙ‍හෙකරුවා සුවපත් වනු ඇත. 8 මම ද බලය ලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි. මා යටතෙහි ද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නැ යි මා කී කල, ඔහු යයි; තව අයෙකුට එන්නැ යි කී කල, ඔහු එයි; මාගේ දාසයාට මෙ‍ය කරව යි කී කල, ඔහු එය කරයි.” 9 ජේසුස් වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිත වී, හැරී, තමන් පසුපස්සේ ආ පිරිසට; ”මුළු ඉශ්රායෙල් ජනතාව අතර වත් මෙ‍තරම් මහා ඇදහිල්ලක් මා දැක නැතැ යි නුඹලාට කියමි”යි වදාළ සේක. 10 පණිවුඩකාරයෝ හැරී ගිය කල, ඒ දාසයා සුවපත් ව සිටිනු දුටහ.