අගෝස්තු 3 වන දින සුබ අස්න – ශු. මතෙව් 14 : 22 – 36

22 ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළ සේක. 23 උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක. 24 සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි. 25 අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. 26 ශ්‍රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, ”ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ. 27 එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහි ම ඔවුන්ට කතා කොට, ”ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක. 28 පේදුරු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය. 29 ”එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය. 30 එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, ”ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය. 31 ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, ”ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක. 32 ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. 33 එවිට ඔරුවේ උන් අය, ”ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.

34 ඔව්හු එගොඩ වී ගෙන්නෙසරෙත් රටට පැමිණියහ. 35 ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා, 36 උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.