අප්‍රේල් 15 වන දින සුබ අස්න – ශු. ජුවාම් 18 : 1- 19 : 42

ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබීම
(මතෙව් 26:47-56; මාක් 14:43-50; ලූක් 22:47-53)
1 ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇලෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක. 2 ද්‍රෝහියා වූ ජූදස් මේ ස්ථානය දැන සිටියේ ය. මන්ද, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එහි නිතර ම රැස් වූ බැවිනි. 3 ජූදස් තෙමේ, නායක පූජකයන්ගෙන් ද පරිසිවරුන්ගෙන් ද භට කණ්ඩායමක් සහ මුර සේවකයන් කීප දෙනෙකුත් ලබාගෙන, පහන්, පන්දම් හා අවිආයුධ ඇති ව එතැනට පැමිණියේ ය. 4 තමන් වහන්සේට සිදුවන්නට යන සියලු දේ දැන සිටි ජේසුස් වහන්සේ, ඉදිරියට ගොස්, ”ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 5 ඔව්හු පිළිතුරු දෙමින්: ”නාසරෙත්හි ජේසුස් ය”යි කී හ. ”ඒ මම ය”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ද්‍රෝහියා වූ ජූදස් ඔවුන් සමඟ සිටියේ ය. 6 ”ඒ මම” යයි ජේසුස් වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණාහ. 7 යළිත් උන් වහන්සේ, ”ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ”නාසරෙත්හි ජේසුස් ය”යි ඔව්හු කී හ. 8 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නම්, මොවුන්ට යන්න දෙන්නැ”යි වදාළ සේක. 9 මෙසේ වූයේ: ‘ඔබ මට දුන් අයගෙන් එක් කෙනෙක් වත් නැති නොවී ය’යි උන් වහන්සේ කී වචන ඉෂ්ට වන පිණිස ය.
10 සීමොන් පේදුරු ළඟ කඩුවක් තිබිණි. ඔහු එය ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. ඒ දාසයාගේ නම මල්කස් ය. 11 එවිට ජේසුස් වහන්සේ, ”කඩුව කොපුවේ දමන්න, පියාණන් වහන්සේ මට දී තිබෙන කුසලාන මම නොබොම් දැ”යි පේදුරුට වදාළ සේක.

උත්තම පූජකයා ඉදිරියේ
(මතෙව් 26:57-58; මාක් 14:53-54; ලූක් 22:54)
12 එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන 13 පළමුකොට අන්නස් වෙතට ගෙන ගියෝ ය. ඔහු ඒ වසරේ උත්තම පූජකයා ව සිටි කායාපස්ගේ මයිලණුවන් විය. 14 මේ කායාපස් වනාහි, ජනතාව වෙනුවෙන් එක් මිනිසෙකු මරණයට පත්වීම සුදුසු යයි ජුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේ ය.

පේදුරුගේ අපලාපය
(මතෙව් 26:69-75; මාක් 14:66-72; ලූක් 22:56-62)
15 ජේසුස් වහන්සේ පසුපස්සේ සීමොන් පේදුරු ද තවත් ශ්‍රාවකයෙක් ද ගියහ. මේ ශ්‍රාවකයා, උත්තම පූජකයා දැන සිටි කෙනෙකු වූ බැවින්, ඔහු ජේසුස් වහන්සේ සමඟ උත්තම පූජකයාගේ මැදුරේ මහා මළුවට ඇතුළු විය. 16 පේදුරු දොර ළඟ පිටත සිටියේ ය. එවිට උත්තම පූජකයා දැන සිටි අනික් ශ්‍රාවකයා පිටතට ගොස් දොරටුපාලියට කතා කොට, පේදුරු ඇතුළතට ගෙනාවේ ය. 17 එවිට දොරටුපාලී, ”ඔබත් මේ මිනිසාගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඇසුවා ය. ”නැතැ”යි ඔහු පිළිතුරු දුනි.
18 එය ශීත කාලය වූයෙන්, දාසයෝ ද මුර සේවකයෝ ද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝ ය. පේදුරු ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේ ය.

උත්තම පූජකයා ඉදිරියේ නඩු විභාගය
(මතෙව් 26:59-66; මාක් 14:55-64; ලූක් 22:66-71)
19 එවිට උත්තම පූජකයා, ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන ද උන් වහන්සේගේ ඉගැන්වීම ගැන ද ප්‍රශ්න කෙළේ ය. 20 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි. 21 මාගෙන් විචාරන්නේ කුමක්නිසා ද? මා කී දේ ඇසූ අයගෙන්, මා ඔවුන්ට කීවේ කුමක් දැ යි ප්‍රශ්න කරන්න. මා කීවේ කුමක් දැ යි ඔව්හු දනිති”යි වදාළ සේක. 22 උන් වහන්සේ මෙසේ වදාළ විට, ළඟ සිටි මුර සේවකයන්ගෙන් කෙනෙක්: ”නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙස ද?” කියා ජේසුස් වහන්සේට අතුල් පහරක් ගැසී ය. 23 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්: ”මා කී දෙයෙහි වරදක් ඇත්නම්, එය ඔප්පු කරන්න; නැත්නම් කුමක් නිසා මට පහර දෙන්නෙහි දැ”යි ඇසූ සේක.
24 ඒ ඇසූ අන්නස්, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය.

පේදුරු යළිත් අපලාප කිරීම
(මතෙව් 26:71-75; මාක් 14:69-72; ලූක් 22:58-62)
25 සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, ”නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: ”නැත, එසේ නොවේ ය”යි කී ය. 26 එවිට පේදුරු විසින් කන කපන ලද තැනැත්තාගේ ඥාතියෙකු වූ, උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක් කෙනෙක්: ”නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මා දුටුවා නොවේ දැ”යි ඇසී ය. 27 පේදුරු යළිත් අපලාප කෙළේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.

ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියේ සිටීම
(මතෙව් 27:1-2; 11-14; මාක් 15:1-5; ලූක් 23:1-5)
28 එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ. 29 එබැවින් පිලාත්, පිටත ඔවුන් සිටි තැනට පැමිණ, ”මේ මිනිසාට විරුද්ධ ව ඔබ ගෙනෙන චෝදනාව කුමක් දැ”යි ඇසී ය. 30 ඔව්හු පිළිතුරු දෙමින්, ”මේ මිනිසා අපරාධකාරයෙක් නොවේ නම්, අප ඔහු ඔබ අතට භාර දෙන්නේ නැතැ”යි කී හ. 31 පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ”යි කී ය. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, ”කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ”යි කී හ. 32 මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.
33 එබැවින් යළිත් රජවාසලට පිලාත් ඇතුළු වී, ජේසුස් වහන්සේ කැඳවා, ”නුඹ ජුදෙව්වරුන්ගේ රජ දැ”යි ඇසී ය. 34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්: ”මෙය ඔබ ම කියන දෙයක් ද, නැතහොත් අන් අය මා ගැන කී දෙයක් දැ”යි ඇසූ සේක. 35 පිලාත් පිළිතුරු දෙමින්, ”මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය. 36 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක. 37 එවිට පිලාත්, ”එසේ නම්, නුඹ රජෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය. මා උපන්නේත්, ලොව පහළ වූයේත්, සත්‍යයට සාක්ෂි දරන පිණිස ය; සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති”යි වදාළ සේක. 38 ”සත්‍යය කියන්නේ කුමක් දැ”යි පිලාත් උන් වහන්සේගෙන් ඇසී ය.

ජේසුස් වහන්සේට මරණීය දඬුවම
(මතෙව් 27:15-31; මාක් 15:6-20; ලූක් 23:13-25)
පිලාත් මෙසේ කියා යළිත් පිටත සිටි ජුදෙව්වරුන් වෙතට ගොස්, ”මොහු අත කිසි වරදක් මට නොපෙනේ. 39 පාස්කු මංගල්‍යයේ දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. 40 එවිට ඔව්හු නැවතත් මොරගසමින්, ”මේ මිනිසා නොවේ, බරබ්බස් නිදහස් කර දෙන්නැ”යි කී හ. බරබ්බස් වනාහි මංකොල්ලකාරයෙකි.
1 ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය. 2 හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා, 3 උන් වහන්සේ ළඟට පැමිණ, ”ජුදෙව් රජතුමෙනි, සැරදේ!” කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ.
4 යළිත් පිලාත් පිටතට ගොස්, ”මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි”යි ඔවුන්ට කී ය. 5 එවිට ජේසුස් වහන්සේ, කටු ඔටුන්න හිසේ දරා, නීල-රක්ත වස්ත්‍රය ද හැඳගෙන, පිටතට ආ සේක. ”මෙන්න, ඒ මනුෂ්‍යයා” යයි පිලාත් ඔවුන්ට කී ය. 6 එවිට නායක පූජකවරු ද මුර සේවකයෝ ද උන් වහන්සේ දුටු කල, ”කුරුසියේ ඇණ ගසන්න, කුරුසියේ ඇණ ගසන්නැ”යි මොරගැසූ හ. පිලාත් කතා කරමින්, ”ඔබ ම මොහු ගෙන ගොස් කුරුසියේ ඇණ ගසන්න, මන්ද, මොහු අත කිසි ම වරදක් ඇති බව මට නම් නොපෙනේ ය”යි කී ය. 7 ජුදෙව්වරු පිළිතුරු දෙමින්, ”නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ.
8 ඒ කීම ඇසූ කල, පිලාත් වඩාත් බිය වී, 9 රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, ”ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක. 10 එබැවින් පිලාත් කතා කොට, ”ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 11 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.
12 ඒ මොහොතේ පටන් පිලාත් ජේසුස් වහන්සේ නිදහස් කර හරින්නට මඟක් සෙවී ය. එහෙත් ජුදෙව්වරු මොරගසමින්, ”ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජයාගේ මිතුරෙක් නොවේ. යම් තැනැත්තෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජයාගේ හතුරෙකි”යි කී හ. 13 පිලාත් ඒ බස් අසා, ජේසුස් වහන්සේ පිටතට ගෙනැවිත් සිටුවා, හෙබ්‍රෙව් බසින් ‘ගබ්බාතා’ කියන ගල් වේදිකා නම් ස්ථානයේ ඇති විනිශ්චයාසනයෙහි අසුන් ගත්තේ ය.
14 ඒ වනාහි පාස්කු මංගල්‍යයට සූදානම් වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු, ”මෙන්න ඔබේ රජ ය”යි ජුදෙව්වරුන්ට කී ය. 15 ”ඔහු මරව, ඔහු මරව, ඔහු කුරුසියේ ඇණ ගසව”යි ඔව්හු මොරගැසූ හ. ”ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, ”සීසර් අධිරාජයා හැර අන් රජෙක් අපට නැතැ”යි කී හ. 16 එකල ඔහු, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන්ට භාර දුන්නේ ය.

කුරුසියේ ඇණ ගැසීම
(මතෙව් 27:32-44; මාක් 15:21-32; ලූක් 23:26-43)
එබැවින් ඔව්හු ජේසුස් වහන්සේ භාර ගත්හ. 17 උන් වහන්සේ ම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා යයි කියන කපාලපිටිය නම් ස්ථානයට වැඩිය සේක. 18 එහි දී ඔව්හු උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ හ; උන් වහන්සේ සමඟ තවත් දෙදෙනෙකු දෙපසින් ද උන් වහන්සේ මැදි ව ද සිටින සේ ඇණ ගැසූ හ. 19 තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය. ‘ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය’යි එහි ලියා තිබිණි. 20 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි. 21 එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, ” ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ. 22 පිලාත් පිළිතුරු දෙමින්, ”මම ලිව්වොත් ලිව්වා ම ය”යි කී ය.
23 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි. 24 එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, ”අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ:
”මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ;
මාගේ සළුව පිණිස දාදු දැමූ හ”
යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
25 ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය. 26 එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, ”ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. 27 ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ”මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.

ජේසුස් වහන්සේගේ මරණය
(මතෙව් 27:45-56; මාක් 15:33-41; ලූක් 23:44-49)
28 ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, ”මට පිපාස ය”යි වදාළ සේක. 29 එහි විනාකිරි පිරූ භාජනයක් තිබිණි. එබැවින් ඔව්හු විනාකිරි පොඟවන ලද මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන් වහන්සේගේ මුඛයට ළං කළහ. 30 ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, ”සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.

හෙල්ලයකින් ඇනීම
31 එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. 32 එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ. 33 එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ. 34 එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය. 35 එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි. 36 මේ දේවල් සිදු වූයේ, ‘ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය’යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය. 37 තවද: ‘ඔවුන් ඇණ තුවාළ කළ තැනැත්තා දෙස, බලනු ඇතැ’යි තවත් ශුද්ධ ලියවිලි පාඨයක් ඇත.

භූමදානය
(මතෙව් 27:57-61; මාක් 15:42-47; ලූක් 23:50-56)
38 ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය. 39 මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. 40 ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය. 41 උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. 42 ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ.