ජනවාරි 27 වන දින සුබ අස්න – ශු. මාක් 4 : 1 – 20

1 නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය. 2 උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: 3 ”සවන් දෙන්න! වපුරන්නෙක් වපුරන්නට නික්මිණි. 4 ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මඟ අද්දර වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝ ය. 5 තව සමහරක් පස තුනී ගල් බිමේ වැටී, පස ගැඹුරු නුවූ නිසා වහා පැළ විය. 6 හිරු නැඟුණු කල ඒවා දැවී, මුල් නැති බැවින් වියළී ගියේ ය. 7 අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය. 8 තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය. 9 සවන් ඇත්තෝ සවන් දෙත් වා!”

10 උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, පිටත සිටින අයට සියල්ලක් ම උපමා මඟින් දන්වනු ලැබේ. 12 එසේ වන්නේ:
‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය.
මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ ”

13 තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද? 14 වපුරන්නා වචනය වපුරයි. 15 මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය. 16 ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්, 17 තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත, වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල, වහා ම පැකිළී වැටෙන අය ය. 18 සෙස්සෝ, කටු අතරේ වැපුරූ බීජවලට සමාන ය. ඔවුන් වචනය ඇසූ නමුත්, 19 මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති. 20 සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.”