නොවැම්බර් 05 වන දින සුබ අස්න – ශු.ලූක් 16: 1 – 8

1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: ”එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ. 2 එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය. 3 ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි. 4 ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම්හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය. 5 මෙ‍සේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. 6 ‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 7 තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 8 ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.