නොවැම්බර් 14 වන දින සුබ අස්න – ශු.මාක් 13: 24 – 32

24 ”තවද, ඒ දවස්වල දී දුක් ගාවිනාවලින් පසු ව, හිරු මඬල අඳුරු වන්නේ ය; සඳ මඬල එළිය නොදෙන්නේ ය. 25 අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ. 26 එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති. 27 එවිට උන් වහන්සේ තම දූතයන් යවා පොළොවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තය දක්වා සිවු දිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත.” 28 ”අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්නහු ය. 29 එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න. 30 සැබැවින් ම මම ඔබට කියමි, ඒ සියල්ල සිදු වන තෙක් මේ පරම්පරාව පහ ව නොයන්නේ ය. 31 අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.” 32 ”ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය.