මාර්තු 15 වන දින සුබ අස්න – ශු. ජොහාන් 7: 1 – 2, 10, 25 – 30

1 ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි සේක. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින්, උන් වහන්සේ ජුදයෙහි සැරිසරන්ට නොකැමැති වූ සේක. 2 එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළං ව තිබිණි. 10 එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක. 25 එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, ”ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද? 26 එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද? 27 කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ. 28 එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: ”ඔබ සැම මා දන්නහු ය, මා පැමිණියේ කොතැනින් ද කියාත් දන්නහු ය. එහෙත් මා පැමිණියේ, මාගේ ම කැමැත්තෙන් නොවේ. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය. ඔබ උන් වහන්සේ නොදන්නහු ය. 29 එහෙත් මම උන් වහන්සේ දනිමි; කුමක් හෙයින් ද, මම උන් වහන්සේ කෙරෙන් පැමිණියෙමි; මා එවා වදාළේ උන් වහන්සේ ය.” 30 මෙසේ වදාළ විට, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. ඒ නමුත්, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ.