මැයි 01 වන දින සුබ අස්න – ශු. ජොහාන් 10 : 11 – 18

11 ”යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය. 12 එඬේරෙකු නොවන, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය. 13 ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය. 14 ”යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති. 15 පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි. 16 තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ. 17 ”මා පියාණන් මට ප්‍රේම කරන්නේ, මා නැවත ලබන පිණිස මාගේ දිවි පුදන බැවිනි. 18 කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක.