20 එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක. 21 දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.” 22 තවද උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන සේක්: ”එහෙයින් මම ඔබට කියමි, කුමක් කමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. 23 කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද උතුම් ය. 24 කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද? 25 සිත් තැවුළෙන් ඔබගේ ආයු ප්‍රමාණය eදික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? 26 ඉදින් එවැනි සුළු දෙයක් වත් කරගන්නට ඔබට නොහැකි නම්, ඔබ අනෙක් කාරණා ගැන කරදර වන්නේ මන් ද? 27 මානෙල් මල් ගැන කල්පනා කරන්න; ඒවා නූල් කටින්නේ වත් වියන්නේ වත් නැත. එහෙත්, තමාගේ සකල රාජ තේජසින් සැරසී සිටි සලමොන් වුව ද මානෙල් මලක් සේ, විරාජමාන නොවී යයි මම ඔබට කියමි. 28 ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද?