පෙබරවාරි 16 වන දින සුබ අස්න – ශු. ජාකොබ් 1: 1 – 11

1 ආරම්භයේ දී, ධර්මයාණෝa සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.
2 ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.
3 සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී;
උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.
4 උන් වහන්සේ තුළ ජීවය විය;
ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.
5 ආලෝකය අන්ධකාරයෙහි බබළයි;
අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.
6 දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය. 7 ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි. 8 ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.
9 සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
10 උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක;
ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.
එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
11 උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.